Header

මිනිහෙකුගේ ඇගේ ඕනෑවට වඩා “Art”තිබුනම,කලාවෙ විතරක් නෙමේ සාමාන්‍ය ජීවිතෙ ගෙනියන්නත් අමාරුයි

සංඛ රඹුක්වැල්ල

ප්‍රසන්න ජයකොඩි සිනමාවේදියා සංකාරා චිත්‍රපටය දෙදහස් හය වර්ෂයේ දි නිර්මාණය කරනු ලැබූවක් වුවද වර්තමාන අන්තර්ජාලීය තරුණ පරපුරේ බහුතරයකට “සංකාරා” චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබුණේ නෑ කියලා අපිට විශ්වාසයක් ගොඩනගාගන්න පුළුවන්.මොකද ඒ කාලේ අන්තර් ජාල පහසුකම්,ස්මාර්ට් ෆෝන් තිබුණේ නෑ බහුතරයකට.ඊටත් වඩා 1990 වර්ෂයේ ඉපදුණ කෙනෙක්ට ඒ කාලේ වෙනකොට අවුරුදු දාසයක් විතර වෙන්නේ.ඉතින් ඒ හේතු නිසා අපි හැමෝටම සංකාරා මිස් වුණා.ඒත් ඊයේ පෙරේදා පෞද්ගලික රූපවාහිණී නාලිකාවක සංකාරා චිත්‍රපටය පළමු වරට ප්‍රදර්ශනය කළා.ඒ නිර්මාණයේ ප්‍රබල ප්‍රධාන චරිතයන් ද්විත්වය එක්ක නිහඬ එහෙත් ප්‍රබල චරිතයක් කරන නිලූප හීන්කෙන්ද ආරච්චි සමඟ සංවාදයක යෙදෙන්නේ බොස්ටන් ලංකා අපිට පුළුවන් වුණා.

නිලූප ව අපිට මතක හිටින්නේ එක් සම්මානනීය සිනමා නිර්මාණයකින්.ඊට පස්සේ ඔබට මොකද වුණේ ?

මිනිහෙකුගේ ඇගේ ඕනෑවට වඩා “Art”තිබුනම,කලාවෙ විතරක් නෙමේ සාමාන්‍ය ජීවිතෙ ගෙනියන්නත් අමාරුයි.Art ඇගේ තියෙනවා කියන්නෙ sense හොදට වැඩ කරනවා කියන එකනේ. ලංකාවේ මම කියන art බහුල නෑ.ඒ නිසා නළුවෙක් වශයෙන් ගොඩනැගෙන එක ලේසි නෑ.ඒක market එක අල්ලගෙන Art එක අමතක කරලා යන්න ඕනා ගමනක්. සංකාරා කලාට පස්සෙ මටත් ආරාධනා කිහිපයක් ආවා.ඒ අතර හොද ඒවට වඩා යමක් ගන්ඩ පුළුවන් දේවල් තිබුනේ නෑ.ඒ වෙනකොට මම මිතුරන් කිහිප දෙනෙකු සමග ව්‍යාපාරයක් ආරම්භ කරලයි තිබුනේ,ඒ නිසා  මගේ යැපීම ගැන ප්‍රශ්නයක් තිබුනේ නෑ.ඒ නිසා මම වේදිකා නාට්‍ය කිහිපයකට ඔය කාලේ සම්බන්ධ උනා.හොද ටෙලියක් දෙකක් කලා.අවාසනාවට අපේ ව්‍යාපාරය කඩා වැටුනා.විශාල ණය ගොඩක් එක්ක.ඒවා settle කලාම,මට මුකුත් ඉතිරි උනේ නෑ.මගෙ පවුල වෙනුවෙන් මගෙ නළු ආශාව කැපකලා.මම රැකියාවකට එංගලන්තේ ආවා.

17270465_429839234024268_1997427273_n

ඔබ ආවේ ලේසි පහසු මාර්ගයක නොවෙයි,ධර්මසේන බණ්ඩාරණායක,ධර්මසේන පතිරාජ,මහේන්ද්‍ර පෙරේරා වැන්නන්ගේ ආශ්‍රය කොයි විදිහේ අත්වැලක් ද සැපයූවේ ඔබේ නිර්මාණ ජීවිතයට ?

උසස් පෙළ කරලා මම පොඩි කොලේජ් එකක් සෙට් කරන් ජපානෙට පැනගත්තා. ඒ කොලේජ් එකේ ඉගැන්නුවෙ ජපන් බාසාව,ඕකට fees ගෙවන්න මම අවුරුදු ගානක් tokyo නගරයේ රුසියානු අවන්හලක පිගන් හේදුවා.ටික කාලයක් යද්දි මගේ ඇගේ තියෙන art මට වදදෙන්න ගත්තා.මම tokyo නගරයේ කලාගාර වලට රිංගුවා.කබුකි නාට්‍ය බැලුවා.එන්කා සින්දු ඇහුවා.ජපන් කෙල්ලන්ට ආදරය කලා.මම දන්නෙ නැතිවම මගේ viza ඉවර උනා.දවසක් immigration එකෙන් පැනලා ඒ ලොකු ගෙදර හිටපු සේරමල්ලා අල්ලලා ලංකාවට පැටෙව්වා.ඊට පස්සෙ තමා මම මහෙන්ද්‍රන් පෙරේරා ගාවට වැටෙන්නෙ අවුරුදු 5ක් විතර අපි acting හෙව්වා.රස්තියාදු ගැහුව්වා.නාට්‍ය බැලුවා,ෆිල්ම්ස් බැලුවා,තර්ක විතර්ක කරා.ඔන්න ඔය කාලෙදි තමා මට ධර්මසේන පතිරාජ,ධර්මසිරි බණ්ඩාරනායක,ජෙරොම් ඩ් සිල්වා විතරක් නෙමේ අනෝජා වීරසිංහගේ වැඩමුළු වලටත් සම්බන්ධ වෙලා ඉගෙන ගත්තා.පසුව ඔවුන්ගෙ නිර්මාණ වලට සම්බන්ධ වුණා.

ඒ අතීතය දෙස අද මෙතන ඉඳලා ආපහු හැරී බැලුවොත් නිලූප සැහෙන්න අසාධාරණයක් ලාංකේය රසිකයාට කළේ කියලා මම චෝදනා කළොත් ඔබ කොහොම උත්තරයක් ද දෙන්නේ ?

අසාධාරණයක් කරන්න තරම් ඒ වෙනකොට රසිකයා මාව දැනගෙන හිටියේ නෑ.මෙලෝ රහක් නැති දේවල් වලට සම්බන්ද වී රසිකයාට කොකා පෙන්නනවාට වඩා එක අතකින් ඒකෙ ටිකක් ඈත් වෙලා හිටියමත් රසිකයාට යම් සාධාරණයක් වෙනවයි කියලා හිතන්නත් පුළුවන්,කොහොම උනත් මම බිම දාගෙන ආදරය කරපු Art වලින් ඈත්වීමට සිදුවීම,රසිකයාට වඩා මගෙ අධ්‍යාත්මයට කරන අසාධාරණයක්.මොකද කිසිම ශිල්පියෙක් කලාවට සේවයක් කරනවා,රසික මනදොළ පුරවනවා කිව්වට ඒ සේරම කරගන්නෙ තමා කියන පුද්ගලයා මූලික කරගෙන. එවැනි මිනිස්සුන්ට කලාවට කල සේවය වෙනුවෙන් කියලා සම්මාන දෙන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ.ඒක නිකන් හරියට අපි  ළඟදි මැරෙන්න ඉන්න මිනිහෙක්ට වැඩිපුර සලකනවා වගේ වැඩක්. කලාකරුවා අනිත් හැම වෘත්තිකයාටම වඩා උතුම්  කියන එක ලංකාව වගේ රටක තවදුරටත් වලංගු නෑ.ඔවුනුත් මේ ක්‍රමයෙම ජරා වලේ පංගුකාරයෝ වෙලා ඉවරයි.මහා කලාකරුවොත් මේ ක්‍රමයෙම හෙළුවැල්ලෙන් ඉන්නෙ කියලා ඔප්පු වෙලා ඉවරයි.ඒ නිසා බිස්නස්කාරයා.පොලිස් කාරයා.දොස්තරයා.නඩුකාරයා වගේම කලාකාරයා ඔක්කොම මේ යුගයේ එකයි.කලාවෙ සළුපිළිවලින් ඒ හෙළුවැල්ල වහන්න බෑ.

17321380_429839524024239_1791955873_n

ඔබ එක් අවස්ථාවක දේශපාලනයට පැමිණීම ඒකට හේතුවක් වෙන්න බැරිද

මම අවුරුදු 25 දී ආපු ඉල්ලීමක් අහකදාන්න බැරිකමට මීගමුව මහනගර සබාවට යූ එන් පී එකෙන් ඡන්දය ඉල්ලුවා ,හැබැයි මිනිස්සු අපිව පරද්දලා ඒ කාලේම ඡන්දේ ඉල්ලපු නිමල් ලන්සලාව දිනවලා නගර සබාවට ඇරියා.කොහොම උනත් මගෙ දේශපාලන කියවීම මේ වෙනකොට මුහුකුරා ගිහිල්ලා තියෙන්නේ,ඡන්දෙ ඉල්ලන්න ගත්ත තීරනය හදිසි එකක්,ඒක එදා මගේම  වටපිටාවට මාව ප්‍රකාශ කරන්න ගත්ත වෑයමක් කියලයි දැන් මට හිතෙන්නෙ.කොහොමත් මේ රටට තියෙන ආදරෙ මගේ නොවෙනස් එකක් මගෙ ආර්ථික අර්බුද හමුවේ  එංගලන්තයේ ඉන්නවා තරම් විකල්ප අවස්තාවක් මට නෑ.නමුත් මගෙ රටේ මගෙ මිනිසුන් වෙනුවෙන් කරන්න පුළුවන් සීමාසහිතව හෝ  කරන්න මම සුදානම්.

ලංකාවේ සිනමාවේ අතීතකාමයෙන් පම්පෝරි ගහන අවස්ථා එමටයි,උදාහරණ විදිහට හැත්තෑව දශකයේ සිනමා නිර්මාණ පිළිබඳ සෑහෙන්න විශාල පම්පෝරියක් බහුතරයක් දෙනා ගහනවා,මේ පම්පෝරිමය වින්දනයට ඔබ එකඟද ? එහෙම නැත්නම් ඔබ මගේ අදහසට විරුද්ධද ?

ඇත්තටම අතීත කාමය නෙමෙයි ඔතන තියෙන්නෙ අතීත මතකයන්ට ආදරය කිරීමක්.සිනමාව පැත්තෙන් ගත්තොත් ලෙස්ටර්,පතිරාජ,වසන්ත,වගෙ   අයගේ අපි හොද සිනමාව කියලා වරග කරන චිත්‍රපට වගේම ලෙනින් මොරායස්ලා වගේ අයගේ ජනප්‍රිය රැල්ලෙ චිත්‍රපට බලපු පරම්පරාව තාම මේ රටේ ජීවත් වෙනවා,ඔය කියන චිත්‍රපට වලට පස්සෙ චිත්‍රපට කරපු පිරිස අසමත් වෙලා තියෙනවා ඒ මතකයන් අභිබවා යන නිර්මාණ කරන්න.ඒකයි අපි හැම දාම 70 දශකයක් ගැන කියවන්නෙ.මේකට හේතුව හොද සිනමාවට සමාන්තරව අපි ජනප්‍රිය සිනමාව කොන් කරලා දැමිම.ඒ පැත්ත අපි දීලා තියෙන්නෙ කිසිම රසක් නැති පිරිසකට,ඒ අය චිත්‍රපට කියලා මොනවද එකක් මිනිස්සුන්ට දුන්නා.අර පතිරාජ් නවත්තපු පැත්තෙන් පටන් ගත්තා කියපු අධ්‍යක්ෂකවරු එකම style  එකේ චිත්‍රපට කලා,නමුත් ,පතිරාජගේ,ලෙස්ටර්ගෙ සිනමාවේ විවිධ කතා තේමා තියෙනවා,කොටින්ම ලෙස්ටෙර් The god king කියලා epic  ‍ෆිල්ම් එකකුත් කලා.මේ අයගෙන් අපේ සිනමාව කර්මාන්තයක් වශයෙන් උඩ තියන්න පුළුවන් නිර්මාණ බිහි වෙන්නෙ නෑ.අල්ලපු රටේ ගත්තත් මනි රත්නම්ලා විවිද තේමා කරනවා.ගිය අවුරුද්දෙ ස්ටීවන් ස්පිල්බර්ග් animation  ‍ෆිල්ම් එකකුත් කළා,පහුගිය කාලෙම දකින්න ලැබුනේ ශුෂ්ක කලාපෙ ගහක් දෙකක් තියෙන කාන්තාරයක් වගේ ප්‍රදේශයක ඈත ඉදන් ශූට් කරපු මළමිනි වගෙ එහාට මෙහාට බයිසිකල්වල,නැත්නම් පයින් යන මිනිස්සු දෙතුන් දෙනෙක් ඉන්න චිත්‍රපට කියලා මොනවද ටිකක්.ඒවා ඉතින් කොහෙ හරි ලෝකේ තියෙන ඊනියා චිත්‍රපට උළෙලවල් වලින් සම්මාන ලැබුණයි කියලා මෙහෙ ඉන්න ඔය ප්‍රබුද්ද කියන ප්‍රෙක්ෂකයාගෙ ඔළුවෙ ගහනවා.ඊට පස්සෙ ඒ කුලේම අයිති සෙට් එක විචාර ලියනවා.ඕක තමා හැමදාම,ඊට පස්සෙ සිනමාව රැකගමු කියලා රැස්වීම් තියෙනවා.

 වාණිජ මට්ටමේ සිනමා කෘති බිහි වෙන යුගයක,අතීත කතා,රජ කතා,දේව කතා සිනමාව ට අරක් ගන්න කලින් ඔබ “සංකාරා” වගේ නිර්මාණයක් හරහා එළියට එනවා. ඒක ඔබට ලැබුණු වාසනාවක් ද ?

සංකාරා කියන්නෙ එක චිත්‍රපටයක්,ඒක මට ලැබුණු අවස්ථාවක්.චිත්‍රපට තියෙනවා තනිකරම අධ්‍යක්ෂකවරයාගෙ දැක්මෙන් විතරක් ගොඩ යන, සංකාරා කියන්නෙ අන්න ඒ වගේ ‍ෆිල්ම් එකක්.ඒ චිත්‍රපටයේ රදවාගෙන යායුතු ටෙම්පෝ එක අධ්‍යක්ෂවරයා ට අභියෝගයක් මම හිතන්නෙ ඒක ඔහු  හොදින් කළා.කලින් කිව්වා වගෙ අපේ රටේ වර්තමාන හුගක් චිත්‍රපට වල නළු නිළියන්ට කරන්ඩ දෙයක් නෑ.මම කලින් කිව්වා වගේ නිකන් ඔහේ එහේට මෙහේට ඇවිදින්න තියෙන්නෙ.භාව ප්‍රකාශන ඕනෑවට වැඩියි,සක්‍රීයව ඇක්ට් කරන්න ලැබෙන පිටපත් නෑ.රජකතා ඉතිහාස කතා ගැන මට කියන්න තියෙන්නෙ ඒවා සිනමාවට වඩා සාහිත්‍යය කෘති ලියවෙනවනම් වඩා හොදයි,අපි නොදැකපු හා හරියට නොදන්න කාලවකවානුවක් චිත්‍රපයකට නැගීම ලේසි නෑ.ඒක බොහොම දැවැන්ත් වැඩක්.අපේ ප්‍රෙක්ෂකයා රෝම අධිරාජ්‍යය ගැන හොලිවුඩ් චිත්‍රපටත් බලන එකේ අපිට ඔය තිබුණා කියන ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තිබුනානම්,පහුගිය කාලේ හැදුණු ඒ වර්ගෙ චිත්‍රපට වලින් උනේ අපි බොරුවට හරි මනසින් මවන් හිටපු ඔය කියන මහා ඉතිහාසයි,ඒකෙ හිටපු රජවරුයි අපේ මනසේ විකාර කරපු එක විතරයි.රඟපෑවත් ,අධ්‍යක්ෂණය කලත් ඇදුමක් නිර්මාණය කලත් අපි කරන වැඩේට අවංක වෙන්න ඕනා.එහෙම නැතිව මොන වැඩේ කලත් අවුල්.

වාණිජ සිනමා කෘති,කලාත්මක හෝ සම්භාව්‍ය සිනමා කෘති ලංකාවේ සිනමාවේ ඕන තරම් තියෙනවා.ඒත් ලංකාවේ රසිකයාගේ බලාපොරොත්තුව නිදන්ගත වෙලා තියෙන්නේ ශෘංගාරාත්මක (erotic)සිනමා කෘති අස්සේ කියලා මම කීවොත් ඔබේ අදහස මොකක් ද ඒ ගැන

මුලින්ම චිත්‍රපට වාණිජ,කලාත්මක,ඔය කියන සම්භාව්‍යය කියන එක නෙමේ අදාල,ඒක සිනමා කෘතියක් කියන එකයි අදාල.ඔන්න ඔය වගේ ගොන් බෙදීම් කරපු ගොන්නු හින්දා තමා,අපේ සිනමාව කඩා වැටුනේ.ඉතිහාසෙ ඉදලා බිහිවුණු එක එක ගුරුකුල තමා ඔය අපරාධය,කලේ.වර්තමාන ය වෙනකොට ඒවා කුඩුපට්ටම් වෙමින් පවතින එක සතුටට කරුනක්,අන්තර්ජාලය හරහා මහා දක්ෂයි කියලා පෙනීඉන්න මහා චරිත කවුරුවත් දන්නෙ නැති එකෙක් ඇවිල්ලා නටලා ගයලා,රගලා පුදුම කරලා කුඩු කරලා දානවා.ඉදිරි ලෝකයේ නියම වැඩකරුවන්ට විතරයි පවතින්න පුළුවන්,erotic  සිනමාව කියන එක මුළු ලෝකෙම තියෙනවා,sex කරන එක මිනිසුන්ගෙ අත්‍යවශ්‍ය දෙයක් ,ඒ හේතුකොටගෙන ආදරෙ බැදෙන සිනමාවකට මිනිස්සු ආකර්ශනය වෙනවා.Hollywood  කෙසේ වෙතත් Bollywood  වල පමණක් නෙමේ දෙමළ,මලයාලම්, චිත්‍රපටත් දැන් දැන් erotic  චිත්‍රපට කරනවා.අපිට වුණේ අපි  පෙන්නන්න යන්නෙ කාන්තාවන්ට වන ලිංගික සූරාකෑම විතරයි.හැමදාම සම්මාන දුන්නෙ ඔන්න ඔය ගෑනිගෙ චරිතෙ කරපු නිළියන්ට විතරයි.අපිට තාම බැරිවෙලා තියෙනවා හොද  සෙක්ස් scene  එකක් කරන්න,අනිත් එක  google  ගිහින් sex හොයලා හැම අවුරුද්දෙම කප් ගහන එකේ හොද erotic   ෆිල්ම්ස් ටිකක් කළත් කර්මාන්තෙට හොදයිනේ.හැබැයි ඉතින් ඒවට සමාජෙ ආකල්ප ඉදලා වාරණ මණ්ඩල වල ඉන්න ගොයියන්ගෙත් ඔළු වෙනස්වෙන්න ඕනා. අනික වෙනස් විදිහට හිතන නිර්මාණකරුවොත් ඉන්න ඕනා,සෙක්ස් කරන්න පුළුවන් ඇදේ විතරක් නෙමේනෙ,කොට්ටෙ තියන්න පුළුවන් ඔළුවට විතරක් නෙමේනෙ.

ශෘංගාරාත්මක හෝ සම්භාව්‍ය සිනමා නිර්මාණයක් එළියට එද්දී ගැහැණියගේ කැප කිරීම පුරුෂයාට සාපේක්ෂව ඉහළ යන අවස්ථා තියෙන්න පුළුවන් සදාචාරය හෝ සංස්කෘතික කාරණා එක්ක.මෙන්න මේ සංස්කෘතික උපමානයක් ලංකාවේ සිනමාව කඩා වැටෙන්න කොයි විදිහටද දායක වුණේ..ඔබට අදහසක් තියෙනවද ඒ ගැන

ඔබ කියන ඔය නිලියන්ගෙ කැපවීම,නළුවර වඩා ඉහලයි වගෙ පේන්නෙ ලාංකීය සිනමාව තුළ,සමාජ සම්මත හදලා තියෙනවා ගෑනු නිරුවත් වීම පිරිමි නිරුවත් වෙන එකට වඩා කූජීතයි කියලා..ඒ නිසා ගෑනියෙක් සිනමාපටය වුවත් නිරුවත් වෙනවා බලන්න වැඩවසම් සමාජයක් කැමති නෑ.ඒනිසා ඒ නිලියව,සැබෑ ජීවිතය තුළත් වේසියක් කරලා බලන්නෙ.අනික පිරිමියාව නිරුවත් කරලා මාර්කට් කරන්න බෑ කියලා අපේ රටේ නිර්මාණයකරුවො දන්නවා.නමුත් ඉන්දියාවෙ උන් ජෝන් ඒබ්‍රහම් ,සල්මන් වගේ නළුවන්ව පුළුවන් තරම් ඇදුම් ගලවලා පෙන්නණේ ගෑනු , පිරිමින්වත් නිරුවතින් දකින්න කැමතියි කියලා දන්න නිසා.

කොහොමත් අපේ වගේ රටවල ගෑනියෙක් සිනමාපටයක් උදෙසාවත් නිරුවත්වීම ඇයට ජීවිතෙ යම් යම් යම් අපහසුකම් වලට පත්වෙන්න සිදුවීම වලක්වන්න බෑ,(පුද්ගලීක ජීවිතෙ තුල)ඒකම වටිනාකම් වලට හරවගත්තු නිලියොත් ඉන්නවා,ඒකට එඩිතරකමක් අවශ්‍ය,අනික බ්‍රා එකක් දැක්කත් බය වෙන නායකයොනේ අපි අපිව පාලනය කරන්න පත්කරගන්නේ

ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ සිනමාව තුළ ගැහැණිය ශ්‍රමයෙන් වගේම ලිංගිකවත් දැඩි සූරාකෑමකට ලක් වෙනවා.හැබැයි බහුතරයක් දෙනා මේ ගැන මුනිවත රකිනවා.ඇයි මිනිස්සු මේ ගැන කතා නොකරන්නේ..තමන්ට ලැබෙන්න තියෙන අවස්ථාවන් නොලැබී යයි කියලා බයට ද ?එහෙමත් නැත්නම් පුරුෂාධිපත්‍යයට ගැහැණිය අභියෝග කරයි කියලා බයට ද ?

ලාංකිය සිනමාවේ නිලියෙක්ට ඉස්සෙල්ලම කරදරය එන්නෙ රෙදි උනා දමා කරපු රගපෑමක් සමාජගත උනාට පස්සෙ නෙමේ.ඒක චිත්‍රපටය Per-Production  තත්වයෙ ඉදල ම තියෙන,නිෂ්පාදකයෝ,අධ්‍යක්ෂ වරු විතරක් නෙමේ සමහර විට කැමරා ශිල්පීන්ට පවා මේ නිළියන්ට ලිංගික අල්ලස් දෙන්න වෙන අවස්ථා තියෙනවා.ඒක බොහෝම කනගාටුදායක තත්වයක්, නිළිකම විතරක් නෙමේ සෑම වෘත්තීයකම ඔය තත්වය ගොඩනැගිලා තියෙන්නෙ.ඉන්දියාවෙ කමල්හසන් වගේ නළුවෝ පවා මුල් කාලේ තමා සමග එකට රගපාන නිලියට එකඟ වුණේ ලිංගික බැදීමක අවසරය එක්කයි.Hollywood වල Jorge  lucas  වැනි අධ්‍යක්ෂ වරු ඒ දේවල් ප්‍රසිද්ධියේම කලා.අපේ අවුල තියෙන්නෙ සුචරිතවාදින් කියලා පෙනී හිටින එවුන් තමා වැඩියෙන්ම බලහතකාරකම් කරන්නෙ. පුරුෂාධිපත්‍ය කියන්නෙ  ගෑනුන්ට ආර්ථික ව හා  ලිංගිකත්වය මුලික කරන් පහතට ඇද දැමීමක් කියලා හිතුවොත් වර්තමාන ලෝකයේ පිරිමියා ගෑනිව යටත් කරන් ඉන්නෙ උගෙ ශාරිරික ශක්තියෙන් විතරයි,සෙක්ස් පැත්ත ගත්තම පිරිමි ගෑනුන්ගෙ වහල්ලු,ඔන්න ඔය තැනදී තමයි ගෑනිද? මිනිහද බොස් කියලා තීරණය වෙන්නෙ.

එංගලන්තයේ ජීවිතය ඔබට සිනමාව ගැන සේම ජීවිතය ගැන ආපහු හිතන්න සැලැස්සුවද ? අලුත් නිර්මාණයක් කරන්න හිතේ අදහසක් නැද්ද දැන්ම

එංගලන්තෙ ජීවිතේ මාව මගේ බිරිදගෙන් දරුවන්ගෙන් ඈත් කෙරෙව්වා.මගේ සහෝදරයින් නෑයන්.හිත මිතුරන්ගෙන් ඈත් කෙරෙව්වා.මහන්සි වෙලා  මම ජීවිතේටම හිතපු නැති අකමැති රස්සාවල් කලා .මානසිකව වැටුණා.ඇඩුවා.ඒ නරක පැත්ත,මේ හොද පැත්ත මම සල්ලි ටිකක් හම්බකරන් ගෙයක් හදාගත්තා,ලන්ඩනයේ  Raindance Film school එකේ ඉගෙන ගත්තා.

ජීවිතෙ ගැන මහ ලොකු බලාපොරොත්තු මට නෑ.මගෙ ජීවිතෙ පුරාවටම උනේ අනපේක්ෂිත දේවල්,ඉදිරියටත් එහෙම වෙයි.මම නිර්මාණයයක් කරයිද නොකරයිද කියලා මට කියන්න බෑ.මම ඉගෙනගන්න එකනම් නවත්වන්නෙ නෑ.

 

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *