Header

ඕනෑම අයෙකුට සුදු ඔසරියක් ඇන්දුවම “අනේ එයා හරීම චාම් හැදිච්ච නිවිච්ච” කෙනෙක් කියලා පිළිගන්න අපේ රටේ උදවිය දෙපාරක් හිතන්නේ නෑ

BY: සංඛ රඹුක්වැල්ල 

ඇය දියණියකි,බිරිඳකි,මවකි. සිග්නීස් සම්මානෙයන් පිදුම් ලැබීමට භාග්‍ය ලද සම්මානනීය රංගන ශිල්පිනියකි.  සුරංගා රනවක නම් වූ අෑ විමුක්ති ජයසුන්දරයන්ගේ “සුළඟ ගිණි අරන්” සිනමා නිර්මාණයේ අභියෝගාත්මක චරිතයක්  සිදු කරයි.  අද බොස්ටන් ලංකා හි ඉඩ ගෞරවයෙන් වෙන් වන්නේ සුරංගා නම් විශිෂ්ට ආත්ම ශක්තියක් ඇති ගැහැණිය වෙනුවෙනි.

සුරංගා, නිලියක වශයෙන් ඔබ අද ඉන්න තැන නැවතිලා ආපහු අතීතයට ගිහිල්ලා බැලුවොත් , ඔබ තෘප්තිමත් ද

ඔව් මම තෘප්තිමත්

 ගැහැණියකට නිළියක් වීම අභියෝගයක් ද ආශිර්වාදයක් ද ?

ගැහැණියකට තවත් ගැහැණියක් බවට පත් වී එය තුළ ජීවත් වී ඒ තුළින් සමාජගත වීමටත්,සමාජයේ යම්කිසි සක්‍රීය වෙනසක් කිරීමට හෝ තවත් වෙනස් මානයකට විතැන් කිරීමට අවකාශයක් ලැබීම මටනම් ආශිර්වාදයක්,ඒ වගේම එවැන්නක් සඳහා තම මනස සහ ශරීරය අනුගත කිරීම සවිඥානිකව සිදුකිරීම අභියෝගයක් විදිහටත් මට දැනෙනවා.

16904846_276346762778628_1486662267512674975_o

 දැඩි පුරුෂාධිපත්‍යකට යටවුණු ලාංකීය සිනමාවේ ගැහැණියගේ නියෝජනය ස්ථාන ගතවෙන්නේ කොතැන ද ?

ලංකාවේ පිරිමිනම් අනේ මන්දා . මම ආශ්‍රය කරන්නෙම නෑ ඔය කියන පුරුෂාධිපති මත දරන කට්ටිය.ඇත්තටම මට එහෙම ජීවත්වෙන එක හිරිකිතයි.මම එයාලව මගහරිනවා.ඒක ලේසියි.ඇත්තටම කීවොත් මම හුඟක් ස්වාධීන කාන්තාවක්.මගේ ස්වාමිපුරුෂයා,තාත්තා,පිරිමි යාලුවෝ සේරම මං ආස දේ මට කරන්න ඉඩ දෙන අය.අනිත් අය මගේ ජීවිතය තුළ නෑ.ඉතින් ඔබ අහපු ප්‍රශ්නය මට අනූව නම් මහා ලොකු පරතරයකින් මම ස්ථානගත වෙලා නෑ.

ලංකාවේ අද්විතීය සිනමාවක් ගැන පම්පෝරි ගැහුවට එදා මෙදා තුර සාර්ථක මට්ටමේ නිර්මාණ බිහි වුණේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. ඒ කියන්නේ සිනමාව අතිනුත් අපි අදක්ෂයෝ කියන එක ද ?

එහෙම කියන්න බෑ.ලංකාවේ හොඳ නිර්මාණ බිහිවෙනවා.හොඳ තැනක සිනමාකරුවන් සිටිනවා.ලෝකය තුළ ඔවුන් ඉදිරියෙන් ඉන්නවා.

 ජංගම දුරකතන වලිනුත් ‍ෆිල්ම් හදන යුගයක අපි තවමත් දළ සේයා පටිවල යැපෙන සිනමා ශාලාවන් පවත්වාගෙන යනවා ? මොකක් ද මේ විහිළුව?

පාර්ලිමේන්තුවේ කට්ටිය වැඩීනේ.ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න ගියාම ඩිජිටල් කරන එක ස්ලෝ වෙනවා ඇති( සිනා) දැන් නම් ටිකක් ඒ තත්ත්වය හොඳ වෙන හැඩයි.

17457314_286269265119711_3811409690842059486_n

විසුළු සහගත සිනමාවක් තියෙන යුගයක ඔබ “සුළඟ ගිණි අරන්” සිනමා නිර්මාණයේ අප්‍රමාණ කැප කිරීමක් කරනවා ? ඔබගේ අසීමිත කැප කිරීම අපතේ ගියා වෙන්න බැරිද ?

නෑ.මම එහෙම හිතන්නේ නෑ.ඒ නිර්මාණයට අවශ්‍යයම කොටසක් මම නිරූපණය කළේ.එහෙමත් නැත්නම් මෙහෙම කියන්න පුළුවන්.ඒ චිත්‍රපටියේ මම නිරූපණය කරන චරිතයට අදාළ ප්‍රබලම ස්ථානය ඒ කොටස.මම දැනුවත් ව සහ අවබෝධයක් ඇතුව ඒ චරිතය රඟපෑවේ.ඉතින් මම හිතන්නේ නෑ කොහොමටවත් ම අපතේ යාමක් කියලා.චිත්‍රපට සංස්කෘතිය හඳුනන,සිනමාව එක්ක නිතර ගැටෙන ප්‍රේක්ෂකයා කීයටවත් විස්වාස කරන එකක් නෑ මගේ මහන්සිය අපතේ ගියා කියලා.

ලංකාවේ මිනිස්සු ඉන්නේ සෙක්ස් ඇරියස් එකක් එක්ක වෙන්න බැරිද ?

අම්මෝ ඔව්

දැඩි සංස්කෘතිම මතවාදයන් තියෙන ඉන්දියානුවන් සනී ලියෝන් සිනමා නිළියක් හැටියට පිළිගනිද්දි සංස්කෘතිකවාදී,සුචරිත ශ්‍රී ලාංකිකයා නිරුවත් දර්ශනයක පෙනී සිටිය කාන්තාවක් ගණිකාවක් කරන්න උත්සහ කරනවා ,අපි ඇත්තටම සංස්කෘතික ද ?

ඇත්තටම අපි සංස්කෘතික ද කියලා අහන ප්‍රශ්නය ඇතුළෙම තියෙනවා අවිනිශ්චිත බවක්.ඒ කියන්නේ අපි සංස්කෘතිකයි ද කියලා සැකයක් එළියට එනවා. ඒ ප්‍රශ්නය ඇතුලෙන්ම.ඒ කතාව එතනම තියලා අර ඔබ අහපු සනී ලියෝන් සහ ඉන්දියානු සිනමා රසිකයා ගත්තම ඔවුන් ඉන්නේ කලා කරුවන් වන්දනීය මට්ටමක තියලා.

හැබෑවටම ඔවුන් ඉතා ඉහළ රසිකයෝ ඔවුන්ගේ.ඊටත් වඩා ඔවුන් ඒ මිනිස්සුන්ට අප්‍රමාණ විදිහට ආදරය කරන්නේ ඒ චරිතයන් නිරූපණය කරන මිනිස්සුන්ට මිසක් ඒ ඒ නිර්මාණයේ ඉන්න චරිත වලට නෙවෙයි.පැටලුම අපි ලිහාගන්න ඕන එතනින්.

රඟපෑමක් පෞද්ගලිකව ගන්න ගියාම ඉතින්  නිර්මාණාත්මක කියවීම පැත්තක තියලා ඒ රඟපෑම සිදුකරපු මනුස්සයා පස්සේ එළවන්න ගැනීම එක්තරා ආකාරයක උමතුවක්.අපි උමතුවූ මිනිස්සුන්ට උත්තර දෙන්න යන්න නරකයි.

ඒකෙන් වෙන්නේ පෞද්ගලිකවම අපි වෙහෙසට පත්වීම මිසක් වෙන දෙයක් නෙවෙයි.මොකද ඕනෑම අයෙකුට සුදු ඔසරියක් ඇන්දුවම “අනේ එයා හරීම චාම් හැදිච්ච නිවිච්ච” කෙනෙක් කියලා පිළිගන්න අපේ රටේ උදවිය දෙපාරක් හිතන්නේ නෑ. ඒ වගේ වෙලාවක ඔබයි මමයි උඩ පැන පැන ඒක එහෙම නෙවෙයි මෙහෙම කීවත් වැඩක් නෑ.

13466548_153291991750773_7470626302183726237_n

නිරුවත් දර්ශනයක් හෝ ලිංගික දර්ශනයක් ප්‍රේක්ෂකයාට මැජික් එකක් වෙන්න පුළුවන්,ඒත් සිනමා අධ්‍යක්ෂකවරයෙක්ට හෝ සිනමාවේ යෙදී සිටින අයෙකුට ඒක මැජික් එකක් වෙන්න පුළුවන් ද ?

ඔව් එක පැත්තකින් ඔබ කියන දේ ගැන මට මෙහෙම කියන්න පුළුවන්.සුළඟ ගිණි අරන් චිත්‍රපටය සිනමා ශාලා වලට ආවට පස්සේ ලංකාවේ බොක්ස් ඔෆීස් තියපු චිත්‍රපට අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ඒක මැජික් එකක් කරගෙන මට කතා කළා.

ඒක ගැන මට තියෙන අදහස නම් මෙහෙමයි.චිත්‍රපටයක් කියන්නේ කැමරා අටවගෙන නළු නිළියන් දාලා කරන රඟපෑමක් විතරක් නෙවෙයි.ඒ කැමරාව පි‍ටුපස සංයමයක් සේම මනා ශික්ෂණයකුත් තියෙන්න ඕන.ඒ දෙක පටලවගන්නවානම් අධ්‍යක්ෂවරයෙක් ඔහු මොන මට්ටමේ ‍ෆිල්ම් හැදුවත් ඔහු හෝ ඇය සිනමාවට ළදරුවෙක්.

සම්භාව්‍යය හෝ  කලාත්මක සිනමාව ඇතුළේ ගැහැණියගේ ශ්‍රමය සහ නිරුවත බොහෝ අධ්‍යක්ෂකවරු ස්වකීය ප‍ටු අරමුණු වෙනුවෙන් නිර්දය විදිහට සූරාගන්නවා නේද කියලා මම කීවොත් ?

එහෙම කියනවා.ඇයි ඉතිං කරන්න කලින් හිතන්නේ නැත්තේ.කාටවත් බලහත්කාරකම් කරන්න ඉඩදෙන්න ඕන නෑනේ.අපි බබ්බු නෙමෙයිනේ.වගකීම කියන දේ හිතට ගන්නේ නෑ.වෘත්තීමය නෑ.ඒක තමයි ඉතිනේ හේතුව.මාව නම් එහෙම කාටවත් බලෙන් හූරගෙන කන්න බෑ.

සරලවම සහ කෙටියෙන් කීවොත් ලංකාවේ සිනමාව ඇතුළේ වෘත්තීයමය ශික්ෂණය නෑ නේද ?

ඒකනම් ඇත්ත.ලංකාවේ පළවෙනි දේ මොනව නැතත් වෙලාවට වැඩක් කරන්න දන්නේ නෑ.වචනයක් කීවාම ඒ වචනයේ විශ්වාසය තියන්න දන්නේ නෑ.චිත්‍රපට කරන එක ලොකු විනයක්,වගකීමක් ඇතුව කරන්න ඕන දෙයක්.ඒක කරන්න පුළුවන් විදිහේ ශික්ෂණයකින් අධ්‍යයනය කරපු පිරිසකට හෝ එම කණ්ඩායමේ නායකත්වය තුළ ප්‍රධානීත්වය තුළ එවැනි එක්කෙනෙකු හෝ සිටියොත් පමණයි.මම වැඩ කරපු සෑම චිත්‍රපටියක් තුළම වෘත්තීයමය තත්ත්වය ඉහළින් ම තිබුණා. සියලුම අධ්‍යක්ෂකවරුන් ශිල්පීන් සහ කණ්ඩායමේ ගරුත්වය කැපකිරීම පිළිබඳ සොයා බැලුවා.

එහෙව් රටක සුරංගා ගෙන් නිසි ප්‍රයෝජනය ගන්න ලංකාවේ සිනමා අධ්‍යක්ෂකවරු අසමත් වුණා කියලා මම කීවොත් ,එයට ඔබ එකඟද ?

මගෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කට්ටියට ගන්න පුළුවන්.මට තේරුමක් නෑ ඔයා අහන ප්‍රශ්නය ගැන.මොකද මං හිතනවා මං කරපු චිත්‍රපටි කිහිපය තුළ ඔවුන් මගෙන් යමක් ගත්තා කියලා.මේක නිකන් කැලයක් වගේනේ.ඕන කෙනෙක්ට ඕන තරම් ‍තෝරාගැනීම් වලට ඉඩකඩ තියෙනවා

 සංස්කෘතිය ඉදිරියට ‍රැගෙන යන වාහකයා විදිහට මවකට තිබෙන අභියෝග මොනවද ?

සංස්කෘතිය තුළ ඉතිං දරුවෝ ආස විදිහට වැළඳගනී.මටනම් ඉතින් එහෙම අභියෝගයක් දැනෙන්නේ නෑ. පරිසරය තමයි ඔවුන්ගේ සංස්කෘතිය.කවදටත් ඔවුන් කැමති නිස්කලංක තැන් වලට වෙලා ඉන්න.ලැබෙන අවුරුදු නිවාඩුවට පවා බොහෝ විට සංස්කෘතික සිරිත් විරිත් වලට ඉඩනොදී  අපි රිවස්ටන් වල ලස්සන ගම්මානයක තමයි ජීවත් වෙන්නේ.නිදහසේ ජීවත් වෙන එක තමයි තියෙන දැන් තියෙන එකම අභියෝගය.මට පුළුවන්නම් දරුවන්ව ඉස්කෝලේ අරින්නේ නැතිව ජීවත් කරවන්න.මං ඒකටත් කැමතී

ඔබ මවක්,බිරිඳක්. ඔබේ දරුවන්ට ලෝකය දකින්න ඔබ යෝජනා කරන්නේ කවර ආකාරයේ උපැස් යුවළක් ද?

මවක් බිරිඳක් විදිහට මම කිසිම කන්ණාඩියක් දාන්නේ නෑ.මම හිතන එකම දෙය දරුවන්ට සහ ස්වාමිපුරුෂයට ඔවුන් ජීවත් වෙන්න අවශ්‍ය ආකාරයට ජීවත්වෙන්න උදව් කරන එක.දරුවන්ගේ කටයුතු කරන එක ඔවුන් පෝෂණය කරන එක තරම් සතුටක් මට නම් තවත් නෑ.මං ආසයි එයාලා සතුටින් නිදහසේ ජීවත් වෙනවා දකින්න.මම මගේ ස්වාමිපුරුෂයට එයාට කැමති විදිහට ජීවත් වෙන්න බාධා කරන්නේ නෑ.අපි කවුරුත් එකිනෙකාට බරක් නෙවෙයි.ආදරය ,කරුණාව,ආරක්ෂාව අපිට ඕනෑ තරම් තියෙනවා.යහපත් ජිවිතයකට ඕනෑ නිදහස සහ ආදරයේ කන්ණාඩිය පමණයි.ඔවුන් මගේ හදවතේ දැනෙන තැනක ඉන්නවා.මම ඔවුන් දිහා බලලා සතු‍ටු වෙනවා.

සංඛ රඹුක්වැල්ලm_sankarambukwella@yahoo.com

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *