Header

කලා ලොවේ නිහඩ වැඩකාරයෙකුගේ වීර කතාව

සාකච්ඡාව සහ සටහන : පාලිත අබේලාල්

මේ කතාන්දරය දිගහැරෙන්නේ නිහඩ වැඩකාරයෙකුගේ වරුණ කියන්නටය… නාට්‍ය ශිල්පියෙකු ලෙසින් ඔහු කරළියට පිවිසෙන්නේ 1994 වගේ එකෝමත් එක ඈත කාලයකය. රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ආරම්භ වු වසරේ සිට අඛණ්ඩව නාට්‍යය ඉදිරිපත් කළ ලංකාවේ එකම නාට්‍යකරුවාද ඔහු වුවද ඒ ගැනදන්නේ කීයෙන් කී දෙනාද යන්නනම් සැක සහිත කාරණාවකි. කොළඹින් බැහැර පොළොන්නරුව ප්‍රදේශයේ සක්‍රීය ආකාරයෙන් නාට්‍ය කලාවේ නිරතවී සිටින ඩී.කේ. ආටිගල නම් මෙම නාට්‍ය කරුවා පසුගිය 25 වනදා සිට දින ඔහු විසින් ඉදිකල තාවකාලිකව ඉදිකල ”විනිවිද” රඟහලේදී ඔහුගේ සම්මානනීය නාට්‍ය දින තුනක් නාට්‍ය උළෙලක් ලෙස පැවැත්වීය. ඒ සොදුරු අවස්ථාව ගැන තවත් තතු කියන්නට බොස්ටන් ලංකා අපි ඔහුට ඇරයුම් කරමු…

ඔබට මේ ආකරයෙන් රඟමඩලක් නිර්මාණය කර නාට්‍ය පෙන්වීමේ අදහස ඇතිවුනේ කොහොමද?

ලංකාවේ ඉන්න හැම නාට්‍යකරුවෙකුටම වගේම මටත් තියෙන ප්‍රශණයක් තමයි නාට්‍ය පෙන්වීම සඳහා රඟහලකට ගෙවීමට සිදුවන අධික මිල. මේක ඇත්තටම මට දරාගන්න අමාරුයි. මේ නිසා මගේ නාට්‍ය බොහෝ විට නාට්‍ය උළෙලකට පෙන්වීමට පමණයි සීමා වුනා. මේ නිසා ඇත්තටම මගේ නිර්මාණ නැරඹිය යුතු පිරිසකට නාට්‍ය නැරඹීමට නොහැකි වීමෙන් විශාල අසාධාරණයක් වුනා. ඒ වගේම මගේ ශිල්පීන්ටත් ඒ නිසා විශාල අසාධාරණයක් වුනා. මේ නිසා මට අවශ්‍ය වුනා මේ නාට්‍ය රඟදැක්වීමට මට හැකි විකල්ප ක්‍රමවේදයකට යොමුවෙන්න. එතනදී තමයි මට තාවකාලික රඟමඬලක අදහස හිතට ආවෙ. මම මගේ නාට්‍ය කණ්ඩායම් සමඟ එකතුවෙලා “ විනිවිද රඟමඬල” නමින් තාවකාලික රඟමඩලක් නිර්මාණය කරල නාට්‍ය පෙන්වීමට යොමුවුනා. දවස් තුනක් අපේ නාට්‍ය කණ්ඩායමේ නිර්මාණ වලින් තෝරාගත් නාට්‍ය පාසල් සහ මහජන දර්ශණ වශයෙන් දර්ශණ වාර තුනක් දවසකට පැවැත්වුව. ප්‍රේක්‍ෂක ඉල්ලීම නිසා එක දවසක් වැඩිපු නාට්‍ය රඟදැක්වීමට සිදුවීමත් අපි ලබපු ජයග්‍රහණයක් වෙනවා.

ඔබගේ නාට්‍යකලාවේ ආරම්භය සිදුවෙන්නේ කොහොමද?

මම මුලින්ම නාට්‍ය නිර්මාණය කිරීමට යොමුවුනේ 1994 වර්ෂයේදියි. එතන ඉදින් අද වෙනකන් මම අඛණ්ඩව නාට්‍ය කලාවෙ නිරතවෙනව. මේ කාලය තුල මම ළමාකෙටිදිගු නාට්‍ය වගේම වීදි නාට්‍යයත් විශාල ප්‍රමාණයක් කර තියෙනවා. ඒවගෙන් විශාල ප්‍රමාණයක් ළමා සහ රාජ්‍ය නාට්‍ය උළෙලවල් වලදී විවිධාකාරයේ ඇගයීම් වලට ලක්වෙලා තියෙනවා. 

මේ ආකාරයට නාට්‍ය ගණනාවක් කරන්න ඔබට හැකිවුනේ කොහොමද?

මේකට මට විශාල ශක්තියක් වුනේ මගේ නාට්‍ය කණ්ඩායම තමයි. ඒ අයගේ විශාල උනන්දුවක් නාට්‍යකරණයට තියෙනවා. මේ නිසා මට නාට්‍ය නිර්මාණය කිරීමට ඒක විශාල පහසුවක් වෙලා තියෙනවා. මේ වෙනකොට මගේ නාට්‍ය වලට සම්බන්ධ වෙලා අද ජාතික වේදිකාවේ පවා නිර්මාණයන් වලට දායකත්වය සපයන ශිල්පීන් ඉන්නවා. ඒ වගේම විවිධ වෘත්තීන්වල නිරතවෙන පිරිස් විශාල පිරිසක් ඉන්නවා. මේ හැම කෙනෙක්ම මගේ නාට්‍යනිර්මාණ සමඟ අදටත් ඉන්නවා. ඒ අයගේ හැම කාර්යයටම වඩා ප්‍රමුඛත්වයක් මේ නිර්මාණ වලට ලබාදීල තියෙනවා. මේක ඇත්තටම මම හිතල ඇතිකරපු දෙයක් නෙවේ. ඒක ඉබේම ඇතිවුණු තත්ත්වයක්.

මේ ආකාරයේ බැඳීමක් නාට්‍ය කණ්ඩායම සහ ඔබ අතර ඇතිකරගැනීමට ඔබ කල විශේෂ කාර්යයක් තියෙනවාද?

මම එහෙම විශේෂයෙන් කරපුදෙයක් ඇත්තටම නැහැ. මම මේ කාර්යය ඒ අයගේ කාර්යයක් කියල හැගෙන්නට ඉඩදුන්නා. ඒ අතර අපි නිරන්තරව සෑම කාරණයකදීම විනිභාවයක් ඇතිකරගත්තා. හැමෝම මේ කාර්යේදී වැදගත් කියන අදහස හැමෝටම දැනෙන්නට ඉඩහැරිය. ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තමයි නාට්‍ය කියන්නේ ප්‍රායෝගික විෂයක්. මේක ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රායෝගිකව නිරතවීමෙන්. මේ නිසා මම මේ අය නිරන්තරව ප්‍රායෝගික වැඩවල යොදවනවා. සාමාන්‍යයෙන් මම වසරකට කෙටිළමාදිගු වශයෙන් නාට්‍ය 15ක් විතර නිර්මාණය කරනවා. මේව ඇත්තටම අත්හදාබැලීම් කරමිනුයි කරන්නෙ. මේවගෙන් මම වගේම ඒකට සහභාගිවන අයත් දැනුමක් ලබාගන්නවා. මේක පසුකාලිනව ඒ අයට න්‍යායාත්මක කරුණු ඉගෙනගැනීමේදී වගේම ප්‍රායෝගිකව නාට්‍ය නිර්මාණ කාර්යයේදීත් වැදගත් වෙලා තියෙනවා. මේ ආකාරයට මම මේ කණ්ඩායම ඒ අයගේ දැනුමේ මධ්‍යස්ථානයක් බවට පත්කර තියෙනවා. මේනිසා කිසිම දවසක මේක කල් ඉකුත්වෙන තත්ත්වකට පත්වෙන්නේ නෑ. මොකද හැමදාම අලුත් අදහස් වලින් පිරෙනවා. පැරණි අය යද්දී අලුත් අය එනවා. අනෙක් කාරණය තමයි මම කිස්ම වෙලාවකට මුදල ඉලක්ක කරගෙන වැඩකරන්නේ නෑ. ඒ වගේම තමයි අපේ කණ්ඩායමේ හැම ශිල්පියෙක්ම.

මේ ආකාරයේ රඟහලක නාට්‍යයක් නැරඹීමේදී ප්‍රේක්‍ෂකයන්ගෙන් මොනවගේ ප්‍රතිචාරයන්ද ලැබුනේ?

මේකෙ අවම පහසුකම් යටතේ ඉදිකරපු රඟහලක්. මේ නිසා අපේ රඟහලෙන් ස්ථාවර රඟහලක ඇති පහසුකම් බලාපොරොත්තුවෙන්න බැහැ. මේකට අනුගතවෙමින් තමයි ප්‍රේක්‍ෂකයන්ට නාට්‍ය නැරඹීමට සිදුවෙන්නේ. මේ නාට්‍ය ශාලාව ඉදිකිරීමේදී ශාලාව මැද්දෙන් හරියටම කණුවක් සිටවීමට සිදුවුනා. මේක ඇත්තටම නාට්‍ය නරඹීමට බාධාවක්. මට කිසිම ආකාරයකින් ඒක ඉවත්කරගැනීමට නොහැකි වුනා. නමුත් ප්‍රේක්‍ෂකයන්ට නාට්‍ය නැරඹීමේදී බාධාවක් වී ඇති ආකාරයක් දැනුනේ නෑ. ඒවගේම පහුගිය දවස්වල පැවතුන අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා පොළොන්නරුව ප්‍රදේශයට අධික සුළං තත්ත්වක් ඇතිවුනා. මේ නිසා ප්‍රේක්‍ෂකයන් තරමක දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවුනා. ඒත් ඒ අය ඉතාම සතුටින් නාට්‍ය නැරඹුවා වගේම උසස් ආකාරයෙන් නාට්‍ය රසවින්දා. මෙතනදී ඇත්තටම නාට්‍ය පෙන්වන්නේ කොහොමද කියන කාරණයටත් වඩා නාට්‍යයේ ගුණාත්මක බව තමයි ඉතාම වැදගත් වෙන්නෙ. එතනදී ඒ නාට්‍ය කෙතරම් දුරට ප්‍රේක්‍ෂකයන් ආකර්ෂණය කරගන්නවාදඑයින් කුමන අකාරයේ සමාජ මැදිහත්වීමකට යොමුවෙනවාද කියන කාරණා මත ඒ නිර්මාණය රඟදැක්වීමේදී අනෙකුත් සියලුම කාරණා අහෝසි වෙනවා.

මේ කාර්යයේ ඉදිරිය මොනවගේ වේවිද?

මේක දුෂ්කර ව්‍යායාමයක්. දවසකට මට මේ නාට්‍ය උළෙලේ එක දවසකට 40000ක විතර මුදලක් වැයවුනා. මේක සම්පූර්ණයෙන් නාට්‍ය ටිකට් වලින් හොයාගන්න බැහැ. නමුත් මේ කාර්යය කොහොම හරි කලයුතුයි. ලංකාවේ නාට්‍ය කරනවානම් මේ දුෂ්කරතාවය අත්විදීමට අපි සූදානම් විය යුතුයි. මේකෙන් අපිට අවශ්‍ය වුනේ මේ ප්‍රදේශය තුල නාට්‍ය කලාව ඇතුලු සම්ස්ථ කලාව කෙරෙහිම පිබිඳිමක් ඇතිකිරීමයි. මේ වනවිට ඒක සාර්ථක අයුරින් කිරීමට හැකිවී තියෙනවා. මේවෙනකොට බොහෝ පිරිසක් නාට්‍ය කිරීමට පවා යොමුවී තිබෙනවා. මේ සමඟම විවිද ස්ථාන වලින් අපේ නාට්‍ය සඳහා ඇරයුම් ලැබී තියෙනවා. ඒ වගේම මේ ස්ථානය කේන්‍ද්‍ර කරගෙන ඉදිරියේදී කලා කර්තව්‍යයන් රැසක් කිරීමට අපේ සැළසුමක් තියෙනවා. ඒ සඳහා මුදල් ප්‍රතිපාදනයක් නැතිවුනත් කණ්ඩායම් ශක්තිය අපේ කාර්යය සාර්ථක කරාවි යන විශ්වාසය තියෙනව. ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා මේ කාර්යය සඳහා සහයෝගය දැක්වූවිශේෂයෙන්ම කිසිම අයකිරීමක් නැතිව රඟහල සඳහා භූමිය ලබාදුන් සමන් බණ්ඩාම මහතාටත්මගේ නාට්‍ය කණ්ඩයමටත් නොයෙක් ආකාරයේන සහයෝගය දැක්වූ වගේම අපිට ශක්තියක් වූ ප්‍රේක්‍ෂක සැමටත් අපේ කණ්ඩායමමේ ගෞරවණීය ස්තුතිය පුදකිරීමට කැමතියි.

දුරකථන අංකය – 0776 622 901

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *