Header

ලංකාවේ මිනිහෙක්ට නිදහසේ කරන්න පුළුවන් හුජ්ජ කරන එක විතරයි ද ?

සංඛ රඹුක්වැල්ල

සුද්දිගේ මිනිය අරන් එන්න ඇ‍රැව්වල ඉඳලා කොළඹ එන අබසිරිටයි මනීටයි “ලෙනින්” මුණ ගැහෙන්නේ අහම්බෙන්.සරම ඇඳලා නිදහසේ හිටිය අබසිරි සුද්දි කැමති නිසාම කලිසමට බැහැලා ආවට කලිසමට උඩින් අබසිරි සරම අඳින්නේ සරම ඇතුළෙන් එන හුළන් පාරේ සනීපේ දන්න නිසාම වෙන්ට ඇති.කොහොම නමුත් අමාරුවෙන් හරි අබසිරි එක්ක මනී කොළඹ සමාජේ ගැටෙනවා.ලෙනින් වමේ වුණාට උන්ගේ සනුහරේම දකුණේ.අබසිරිට සුද්දි නැති වෙලා නිසා උතුර දකුණ මාරු වෙලා ඉන්නේ.ඒ  නිසා වම දකුණ ගැන කතාකිරිල්ල පැත්තක තියලා උතුර දකුණ මාරු වුණ ජීවිත ගැන මදක් කතා කරන්න හිතුවා මෙහෙම.

ප්‍රසන්න ජයකොඩි සිනමාවේදියා කතාව අල්ලගන්නේ බොහෝම පොඩි තැන් වලින්.28 ත් ඒ වගේ පොඩි තැනකින් අල්ලගෙන ජීවිතය කෑලි කෑලි වලට ඉරනවා.කතාව පටන්ගන්න වෙලාවේ ඉඳලා අවසන් වෙන වෙලාව දක්වා පුපුරන්නේ තැන් කිහිපයක් විතරයි.සුද්දි මැරුණේ කොහොමද ? අබසිරි සහ මනී සුද්දිගේ මිනිය ගෙදර අරන් යයි ද ? කතාව කැරකෙන්නේ ඒ වටේ.හැබැයි කතාව එහෙම කැරකුනාට පුරුෂ මූලික සමාජයේ පුරුෂයාගේ අධිපතිවාදී මනෝභාවයන් ප්‍රසන්න ජයකොඩි 28 ඇතුළේ උස්සා උස්සා පොළවේ ගහනවා.

”ඒ දවස්වල මම නාන්න යනකොට ගමේ නාකි,කොල්ලො කුරුට්ටෝ සේරම මම නාන්න යන වෙලාවට නාන තො‍ටුපළට එන්න ගන්නවා.ඒකට අපේ මිනිහට ඉවසලා ඉන්න බැරුව ගියා.ඒ නිසා මම යෝජනා කළා බාත් රූම් එකක් හදමු කියලා.මුළු ගමෙන්ම බාත් රූම් එකක් හදපු පළවෙනි ගෙදර අපේ ගෙදර.එක දවසක් හවස මම නානකොට කවුදෝ නානකාමරයට එබිකම් කරනවා මම දැක්කා.මම හොඳටම බය වුණා.බයවෙලා ගෙදර අයට කීවම ගොම්මන් වෙලාවේ නාන්න යන්න එපා කියලා මට ගෙදර මිනිස්සු කීවා.තව දවසක් මම දවල් නාද්දි ආයෙත් කවුදෝ එබිකම් කළා. බැලින්නම් ඒ අපේ මාමණ්ඩියා.මම ඕක ගෙදර මිනිස්සුන්ට කීවම ගෙදර මිනිස්සුන්ට වැරදිකාරයා වුණේ හොරෙන් බලපු මාමණ්ඩි නෙවෙයි.බාත් රූම් එකේ හෙළුවෙන් නාපු මම …… ”

කියලා සුද්දි කියනවා. සුද්දි එහෙම කියනකොට හෘද සාක්ෂියක් තියෙන මනුස්සයෙක්ට හිතෙන්න පුළුවන් පිරිමියා එච්චර ලොකුද කියලා. ඔව් පිරිමියා ඒ තරම් ලොකුයි. ඒ නිසයි ප්‍රේමවතී මනම්පේරි, සෙව්වන්දී ඉනෝකා ගැහැණියෙක් වීම තුළම සමාජ අසාධාරණයට ලක් වුණේ.ඒත් කිසිම අවස්ථාවක පුරුෂයාගේ භූමිකාව ස්ත්‍රිය සමාජමය කතිකාවටක ලක් කරන්නේ නැත්තේ ඇයි කියලා ගැටලුවක් මතුවෙනවා.මේ ක්‍රමය මේ විදිහටම පවත්වාගෙන යන්න ගැහැණිය වක්‍රාකාරයෙන් අනුබලයක් දෙනවද ? කියලා කෙනෙක් ඇහුවොත් ඒකත් උත්තරය 28න් ප්‍රසන්න ජයකොඩි දෙනවා.

“එදා ඉඳලා මිනිස්සු මගේ දිහා අමුතුවිදිහට බලන්න ගත්තා.මට හූ කිව්වා.මම ගමෙන් කොළඹ ආවා” කියලා සුද්දි කියනවා.සුද්දි හෙලුවෙන් නාපු නිසා සුද්දි වේසියෙක් වුණා.ගැහැණිය වේසියෙක් කිරීමට දෙපාරක් නොහිතන පුරුෂ මූලික සමාජය හා ඊට වන්දිභට්ටකම් කරන යැපුම් මානසිකත්වයෙන් හෙබි ස්ත්‍රියට කළ හැකි එකම කාරණය වන්නෙත් ගැහැණියකගේ ආත්ම ගෞරවය කෙලෙසීම පමණයි.එහෙම කල්පනා කළාම හිතන්න බැරිද ශරියා නීතියෙන් ලාංකික ගැහැණිය වෙනස් වෙලා තියෙන්නේ බුර්කාව නො ඇඳීමෙන් විතරයි. ඇයි ඔබ ඔහොම බලන්නේ ? ඇයි ඒක එහෙම නෙවෙයිද ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

ලෙනින් සහ අබසිරි දෙන්නම කසාද බැඳපු උන්.මනී තවම බැඳලා නෑ.සුද්දිගේ මිනිය වාහනේ හුඩ් ට්‍රැක් එකෙන් බිමට වැටිලා ගඟ පල්ලේ පෙරළිලා.මිනිය හොයාගත්ත අබසිරි තමන් ඇඳගෙන ඉන්න සරම ගලවලා තමන් නිරුවත් වෙලා සුද්දිගේ මිනියේ නිරුවත වහනවා. මොකද අබසිරි කියන විදිහට සුද්දි නැන්දට ගෞරවයක් දෙන්න ඕන.

උබ බැඳලද ? ලෙනින් අහනවා

අබසිරි උත්තරදෙන්න කලින් මනී පැනපුගමන් කියනවා …

“මම නම් බැඳලා නෑ” කියලා.

“උබට බඳින්න ඉතින් තියෙන්නේ ඔය කලිසම අස්සේ තියෙන සිල්ලර කාසි දෙක විතරයිනේ. ඒක විතරක් තිබුණම ඇති ද ? ” කියලා අබසිරි මනීගෙන් අහද්දී

“ඒ ඇති ” කියලා

මනී කීවම හැමෝම කොක් හඬ නගලා හිනාවෙනවා. ඒ හිනාව මුළු පරිසරය පුරාම පැතිරිලා යනවා.ඒ යන අතරේ බෝක්කුවක් අස්සේ මෙහෙම ලියලා තියෙනවා ” සිරිමා අක්කගේ පුක තමයි පුක ” කියලා.ඒ හිනාව සහ ඒ වචන ටික එකිනෙක එකතුවෙන තැනක් එනවා.ඒ තැනේදී පැහැදිලි වෙනවා ලංකාවේ පිරිමින්ගේ බහුතරය තමන්ගේ සිල්ලර කාසි දෙක පිළිබඳව ඇති අධිපතිවාදී මානසිකත්වය එක හිනාවකට යටපත් කරන්න බෑ කියලා.

මේ මෑතක ඉඳලා ෆේස් බුක් එක ගිණිගන්නවා  ගැහැණුන්ගේ නිරුවත විකුණලා.වීඩියෝ එකක් එළියට ආව ගමන් දවස් ගාණක් බඩගින්නේ හිටිය හිවල්ලෙක්ට කුණු වෙලා ගිය මළකුණක් ලැබුණා වගේ.ලංකාවේ හිවල්ලු ටික සේරම කාගේ හරි පෞද්ගලික ජීවිතයක කුණු වෙලා තිබුණ කොටස ෆේස් බුක් එකේ රසකර කර කන්න ගන්නවා.ඊට පස්සේ ඒ ගැහැණියට උන්මත්තකයෝ වගේ අපහාස කරන්න ගන්නවා.ඒක හරියට සුද්දිගේ හෙළුව බාත් රූම් එකේ හිලෙන් බලපු මාමණ්ඩියා වැරදි නොවී සුද්දි වැරදි වුණා වගේ වැඩක්.කොහොමෙන් කොහොම හරි අන්තිමට ගැහැණියගේ පැත්තට බෝලේ පාස් වෙලා උත්තුංග පිරිමි ටික අත පිහදාගන්නවා.ඒක මාර සාධාරණ විදිහක්.හරියට අර මනීගේ සිල්ලර කාසි දෙකේ ආධිපත්‍ය පෙන්වීම වගේ වැඩක්.එතකොට අර චිත්‍රපටියේ මුලින්ම මම කීවා වගේ ලංකාවේ නිදහසේ කරන්න පුළුවන් හුජ්ජ කරන එක විතරද ? ඔව් නිදහසේ හුජ්ජ කරන්න පුළුවන්.හැබැයි ඒ පිරිමින්ට විතරයි.ගෑණුන්ට නිදහසේ ඒක කරන්නත් බෑ.මම කැට තියලා කියන්නම්.

 

 

 

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *