Header

දයානන්ද ගුණවර්ධනයන්ගේ පුත් වසන්ත සමග කළ සොදුරු පිළිසදර

සටහන : පාලිත අබේලාල්

දේශීය ගැමි නාටක ආකෘතිය, ජන ගායනා සහ ජන සංගීතය සමග මුසුව නවීන රංග සම්ප්‍රදායක් හඳුන්වා දීමට කැපවූ මෙතුමන් එහි අග්‍ර ඵලයන් ලෙස නරිබෑනා”, “ජසයා සහ ලෙන්චිනා” “මධුර ජවනිකාසහ බක්මහ අකුණු’‘ “ආනන්‍ද ජවනිකාවැනි උසස් ගනයේ නාට්‍ය නිර්මාණ රැසක් අපහට නැරඹීමට මෙන්ම එයින් දේශීය නාට්‍ය කලාව පෝෂණය කිරීමටද සමත් විය. අද වනවිටද එතුමන්ගේ නාට්‍ය නිර්මාණයන්ගේ රසය ඒ ආකාරයෙන් අපට ලබාදෙන්නට වෙහෙසෙන අයෙක් විදියට එතුමන්ගේ පුත් වසන්ත ගුණවර්ධන හඳුන්වා දිය හැකිය. බොස්ටන් ලංකා අපි අපගේ ශ්‍රේෂ්ඨ නිර්මාණ කරුවාණන්ගේ නිර්මාණ පිලිබඳව කතාකිරීමට ඔහු හා එක්විය.

ඔබේ පියාගේ නිර්මාණ ඉදිරියට රැගෙන යාම අභියෝගයක්ද?

ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය කලාවේ හැරවුම් ලක්‍ෂයක් විදියට සැළකෙන මහාචාර්ය සරච්චන්‍ද්‍රයන්ගේ මනමේ’‘ නාට්‍යයෙන් පසුව ලාංකීය සමාජය තුළ නාට්‍ය කලාව කෙරෙහි නව පිඹිදීමක් ඇතිවුණා. මේ පිබිදීම විශ්ව විද්‍යල පරිසරය තුළ වගේම ඉන් පිටතත් ඇතිවුණු දෙයක්. මෙහි ප්‍රතිඵලක් ලෙස නව අත්හදා බැලීම් ඔස්සේ දේශීය නාට්‍ය කලාව තුළ විවිධ පර්යේෂණයන් කිරීමට යොමුවුණු සරච්චන්‍ද්‍ර පරපුරේ අංකුරක් විදියට තමයි මම මගේ පියාගේ නාට්‍ය කලා ප්‍රවේශය හඳුන්වන්නේ.

පසුකාලීනව ස්වාධීන මඟක් අරගන්නවා නේද?

ඔව්, විශේෂයෙන්ම එතුමන් කුඩා කළ ඉදලම නාට්‍ය කලා පරිසරයක තමයි හැදී වැඩී තිබුණේ. මේ නිසා එතුමන්ට නාට්‍ය කලාව කියනඑක එතරම් දුර හෝ නුහුරු දෙයක් නෙවේ. විශ්ව විද්‍යාල ජීවිතය තුළ එතුමන් නියොමන් ජුබාල් කියන විදේශීය නාට්‍යකරුවා යටතේ බටහිර නාට්‍යකලාව පිළිබඳව විශේෂ අත්දැකීම් රැසක් ලබාගන්නව. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ කෑගලු විද්‍යාලයේදී ස්වර්ණතිලකානාඩගම නිර්මාණය කරනවා. ඊට පසු එතුමන් ගැමි නාට්‍ය කලා ශෛලිය වෙත කෙමෙන් කෙමෙන් යොමුවෙන ආකාරය අපිට දැකගන්න පුලුවන්. විශේෂයෙන්ම පරාස්සයානාට්‍ය, “නරිබෑණානාට්‍ය අර්ධ ශෛලිගත ආකාරයෙන් නිර්මාණය කරනවා. මේ නාට්‍ය නිර්මාණය කිරීමේදී විශේෂයෙන් සඳන් කළ යුතු දෙයක් තමයි සම්ප්‍රදායික සහ නූතන ලක්‍ෂණයන්ගෙන මිශ්‍රිත රංග රටාවක් නිර්මාණය සඳහා යොදාගන්නවා. අපේ ජන සම්ප්‍රදායන් වන බම්බු නැටුම්, රබන් පද, කවි, සැහැලි වගේ දේවල් තමයි යොදාගන්නේ. මේ අකාරයෙන් පිංගුත්තර,ජස ලෙන්චිනා, බක්මහ අකුණු වගේ නාට්‍යයන් රැසක් නිර්මාණය කිරීමට යොමුවෙනවා.

ලාංකීය නාට්‍යකලාව තුළ දයාණන්ද ගුණවර්ධන කියන නමත් එක්ක බැඳුණු නාට්‍ය වර්ගයක් විදියට වාර්තා රංග සම්ප්‍රදාය හඳුන්වනවා නේද?

 වාර්තා රංග ශෛලිය පිළිබඳව ලංකාව තුළ පර්යේෂණයන් සිදුකරන්නේ මුලින්ම දයානන්‍ද ගුණවර්ධණ මහත්මයයි. මුලින්ම මෙතුමන් මේ රංග ශෛලිය පිළිබඳව අත්දැකීම් ලැබුවේ ජර්මනියේදියි. ඉන්පසු මෙතුමන් මේ රංග ශෛලියට ලාංකීය ස්වරූපයක් ලබාදීමට විශාල පර්යේෂණයන් රැසක් සිදුකරා. මෙහි ප්‍රතිඵලයක් විදියට තමයි 1974 මුල්ම වාර්තා රංග ශෛලියේ නාට්‍ය විදියට ගජමන් පුවතනාට්‍ය නිර්මාණය වෙන්නේ. මේ අනුසාරයෙන්ම එතුමන් ලංකාවේ ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් රැසක් කේන්‍ද්‍රකරගෙන ඊළඟට මධුර ජවනිකාකියන නාට්‍ය නිර්මාණය කරනවා. ඉන්පසුව මහජන බැංකුව වෙනුවෙන් වාර්තා නාට්‍යයක් නිර්මාණය කරල තියෙනවා. නමුත් මේ පිළිබඳව වාර්තාවන් නම් නැහැ. ඉන්පසුව තමයි ආනන්‍ද විද්‍යාලයේ සංවත්සරයක් වෙනුවෙන් පාස්ල් ඉතිහාසය ආශ්‍රය කරගෙන ආනන්‍ද ජවනිකාකියන වාර්තා ශෛලියේ නාට්‍ය නිර්මාණයවෙන්නේ.

මේ සමස්ථය දෙස බලනවිට ඔබට දයානන්ද ගුණවර්ධනයන් හඳුනාවාදෙන්නේ කොහොමද?

මහාචාර්ය සරච්චන්‍ද්‍රයන්ගෙන් පසුව නාට්‍ය කලාවේ අනාගත පැවැත්ම වෙනුවෙන් විශාල පර්යේෂණයන් රැසක නිරතවූ කෙනෙක් විදියට තමයි මම තාත්තව හඳුන්වන්න කැමති. මේ පර්යේෂණයන් එතුමන් දේශීය පොළොවට පමණක් සීමා කළේනැහැ. මේ නිසා මෙතුමන් තමන්ගේ නිෂ්පාදනයන් සඳහා නවීන රංග ක්‍රමවේදයන් කෙසේද යොදාගන්නේ කියන කාරණය පිළිබඳව අත්හදාබැලීම් සිදුකලා. උදාහරණයක් විදියට එතුමන් තමයි අපේ රටට ආගන්තුක කැරකෙන වේදිකාව මුල්වරට බකමහ අකුණු කියන නාට්‍ය සඳහා යොදාගන්නේ. අනෙක් කාරණය තමයි අපේ ජන සම්ප්‍රදායන් නව්‍ය ආකාරයෙන් වත්මන් වේදිකාවට ගැලපෙන ආකාරයෙන් යොදාගතහැකි ආකාරය පිළිබඳව වත්මන් පරපුරට තමන්ගේ නිර්මාණවලින් නිදර්ශණ සැපයූ පුද්ගලයෙක් විදියට අදත් බොහෝදෙනෙකුගේ ගෞරවයට එතුමන් පත්වෙලා තියෙනවා.

වර්තමානය වනවිට මෙවැනි ප්‍රතිභාවන් සහිත පුද්ගලයින් අවමවීමට ඔබ දකින හේතු මොනවාද?

ප්‍රධාන කාරණය විදියට මමනම් දකින්නේ නාට්‍ය කලාව වෙනුවෙන් අවංකව කැපවීම කියන කාරණයයි. දයානන්ද ගණවර්ධන වගේ විශිෂ්ඨයන්ගේ නාට්‍ය කෘතියක් අරගෙන බැලුවොත් එහි දකින්නට ලැබෙන ප්‍රබලම දේ තමයි පර්යේෂණ කියන කාරණය. මේ පර්යේෂණයන් ඉතා දීර්ඝ කාලීනව සිදුකරපු දේවල්. මේ නිසා මේ නාට්‍ය නිර්මාණ සත්‍ය ඉතිහාසක් මත, සත්‍ය ස්ථානයන් හා බැඳිව නිර්මාණය වූ දෙයක් බවට පත්වෙනවා. නමුත් අද නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණයන් වෙනුවෙන් කෙතරම් දුරට පර්යේෂණයන් සිදුකරණවාද කියන ගැටලුව මට තියෙනවා. සාර්ථක නිර්මාණයක් වගේම සාරථක නිර්මාණ කරුවෙක් බිහිකරන්නේද පර්යේෂණයන් මඟින් තමයි. මේ තත්ත්වයට වත්මන් තරඟකාරී ආර්ථික රටාවත් එක් අකාරයකි බලපා තිබෙනවා. නමුත් මෙවන් තත්ත්වයන් තුළ ඉඳ හෝ සාර්ථක නිර්මාණයන් කරණා නිර්මාණකරුවන් සිටිනවා.

නැවත දයානන්‍ද ගුණවර්ධන මහතාගේ නාට්‍ය වේදිකාගත කිරීමට යොමුවෙන්න හේතුව කුමක්ද?

ඒකට හේතූන් දෙකක් තියෙනවා. තාත්ත අප අතරින් වියෝවෙනවිට මධුර ජවනිකා නාට්‍ය විතරයි රංගගතවෙමින් තිබුනේ. අපි 94 දි නළු කීර්තිසභාවරැස්වුනාට පසුව තීරණයක් ගත්ත තාත්තගෙ නාට්‍ය නැවත නිෂ්පාදනය කරන්න. විශේෂයෙන්ම එතුමන්ගේ නාට්‍යයන් අතර සදාතනික වටිනාකමකින් යුතු නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීමට යොමුවුණා. නරි බෑණා” “කාමරේ පොරේ’‘ “ජසයා ලෙන්චිනා” “ගජමන් පුවතවගේ නාට්‍ය කිරිමෙන් පසුව අපි මෑතකදී නිෂ්පාදනය කිරීමට යොමුවුණේ බක්මහ අකුණුකියන නාට්‍ය.

බක්මහ අකුණුකියන නාට්‍ය අද සමාජයට ගැලපෙනවා කියල ඔබ හිතනවාද?

බක්මහ අකුණුකියන නාට්‍ය අද බලනවිට සරළ කතාවක් වුනත් මේ කතාව ඇතුලේ බලය කියන සාධකය ක්‍රියාත්මක වෙන්නේ මොන අකාරයෙන්ද සහ ඒ බලය මෙහෙයවන පුද්ගලයන් තමන්ගේ ආත්මාරතකාමී හැඟීම් සහ අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා එය යොදවන අකාරයත්, එම බලය යෙදවීම හමුවේ පීඩනයට පත්වෙන්නන් ඉන් ගැලවීම දරණ උත්සාහය සහ උපක්‍රමයන් පිළිබඳව චිත්‍රයක් අපට මේ නාට්‍යයෙන් ඉදිරිපත් කරනවා. මේ තත්ත්වය අපිට අපේ කෝලම් ජන නාට්‍ය කරුවා විසින්ද හාස්‍ය මුසු ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අද මේ ගැටලුව මෙ ආකාරයෙන්ම සමාජය තුළ පවතිනවා. මේ නාට්‍ය මඟින් බුද්ධිමත් ලෙස මෙම අවස්ථාවන්ට මුහුණ දීමේන් ගැටුමින් තොර දිවියක් ගෙනයාමට උත්තේජනයක් සැපයීම වැදගත් කරුණක් වෙනවා.

ලංකාවේ නාට්‍ය කලාවේ මහා කුළුණු හතරක් ගැන බොහෝ විචාරකයින් හඳුන්වා දී තියෙනවා. මෙය ඇතැම් අය පිළි ගන්නා අතර ඇතැම් අය බැහර කිරීමක්ද කරනවා. කෙසේ නමුත් පොදුවේ දේශීය නාට්‍ය කලාවේ ඉතාම ප්‍රබල නිර්මාණකරුවෙක් විදියට අපිට අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන් නාට්‍ය කරුවෙක් තමයි දයානන්ද ගුණවර්ධනයන්. 

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *